සම්ප්‍රේෂණ කුළුනු සෝදිසි නොකළොත් ලෙඩ ගොඩක්


ගුවන් විදුලි, රූපවාහිනී, දුරකතන සංඥා නිකුත් කිරීමට පිහිටුවා තිබෙන සම්ප්‍රේෂණ කුළුනු වලින් නිකුත් වෙන අධි බලැති විද්‍යුත් චුම්භක කිරණ ජාත්‍යන්තර ප්‍රමිතීයට අනුකූල නොවෙතොත් එය ප්‍රජා සෞඛ්‍යට බලවත් තර්ජනයක් බව මොරටුව විශ්ව විද්‍යාලයයේ විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරු අංශය කළ සමීක්ෂණයක දී හෙළිදරව් කරගෙන ඇත.

මෙවැනි සෝදිසි අඩු ගණනේ දෙවසරකට  වරක්වත් කළ යුතු බව එම සරසවිය කියයි.

රටේ උතුරු නැගෙනහිර පළාත් හැර සෙසු සියලුම පළාත් ආවරණය වන අන්දමට මෙම සරීක්ෂණය අවසන් වරට සිදු කර ඇත්තේ 2004/200 වසරවලදීය.

අවසන් වරට සිදු කළ මෙම සමීක්ෂණය සඳහා විදුලිය සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහාය ලැබිණි.

එම සමීක්ෂණයේ දී අනාවරණය කර ගත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අධිබලැති විද්‍යුත් චුම්භක කිරණ එම සම්ප්‍රේෂණ කුළුණු මගින් ඒ වන විට නිකුත් වෙන බවයි.

එම නිසා වාර්ෂිකව හෝ වසර දෙකකට වරක්වත් මෙවන් සමීක්ෂණ සිදු කර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අධිබලැති චුම්භක කිරණ නිකුත් වන්නේදැයි සොා බැලිය යුතු බවට නිර්දේශ කර ඇති බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය ඉන්ද්‍රා දයාවංශ මහත්මිය පැවසුවාය.

‘අධිබලැති චුම්භක කිරණ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවුනහොත් ප්‍රජා සෞඛ්‍යට එය බලවත් තර්ජනයක් වනු ඇත. එය ශරීරයේ විවිධ කොටස් හා අවයවයන්ට විවිධාකාරව බලපානු ඇත. විශේෂයෙන් දෑස, මොළය, හෘදය, ස්නායු පද්ධතියට බලවත් අවදානමක් බවටත් අනාවරණය කරගෙන ඇත.

මොරටු විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික් සමග විදුලිය සංදේශ අංශයේ මාහාචාර්යවරු, ආචාර්වයරු, ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් අවසන් වරට මේ සමීක්ෂණය කළහ.