සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව කැබිනට් ප්‍රකාශක පිළිගනී


සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය ඇතුළු ඇතැම් විමර්ශන  මන්දගාමීට පැවැත්වෙන බවට එල්ල කරන චෝදනා තමා පිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

‘ලසන්ත ඝාතානය ගැන පරීක්ෂණ අඩපන වෙලා කියා චෝදනාවක් තිබෙනවා නේද?‘ යි  මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේ ‘ඒ චෝදනාව පිළිගන්නවා‘ යනුවෙනි. එම පරීක්ෂණය පමණත් නොව තවත් සමහර පරීක්ෂණ සිදුවන්නේ මන්දගාමීව බව ඇමැතිවරයා කීවේය.

සේනාරත්න මහතා එලෙස කීවේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

‘මේ ආණ්ඩුව බලයට පත් කළේ මහා පරිමාන අපරාධ, මිනීමැරුම් ගැන සොයා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන්නයි.‘ යැයි ද ඇමැති කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා කීවේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතූන් මත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

‘මෙම ආයතනයේ වාහන අවභාවිතා වී ඇති බවට මුලින්ම කරුණු අනාවරණය කර තිබුණේ ඔහු ඇමැති ධුරයේ කටයුතු කරමින් සිටියදීමයි. 2014 පැවැත්වූ එම ආයතනයේ අභ්‍යන්තර විගණනයකදී හෙළි වී තිබෙනවා වාහන අවභාවිත කිරීම ගැන. මේ සිදුවීමෙන් රජයට වී ඇති පාඩුව කෝටි නවයකට අධිකයි. මෙතන දේශපාලන පළිගැනීමක් නෑ.‘ යැයි ද පෙරේරා මහතා කීවේය.

මාධ්‍යවේදියෙක් - මෙම ආයතනයේ සභාපති ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට නොගෙන එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සහ ඇමැති අත්අඩංගුවට ගත්තේ ඒ සභාපති අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසාද?

පිළිතුර (රාජිත සේනාරත්න මහතා) -  මේ වාහන අවභාවිත වීම් සිදුවී තිබෙන්නේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවයි. ඔහු කෙටි කාලයයි සභාපති ධුරයේ සිටියේ. ඔහුට නීති විරෝධී නියෝග ලැබෙද්දි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ප්‍රශ්නය - විමල් වීරවංශ ඇමැතිවරයාගේ නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි පුද්ගලයා අද මේ ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැතිවරයෙක්. ඔහු අත්අඩංගුවට නොගන්නේ ඒ නිසාද?

පිළිතුර - අනිත් ඇමැතිවරුන් ගනිද්දි ඇහුවේ නැහැනේ ඇයි ඒ අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමැතිවරුන් නොගන්නේ කියා. ඔහු තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට වාහන ලබා දුන් බවට අනාවරණය වෙලා නෑ.