සමලිංගිකත්වයට රජය විරුද්ධයි : ඒත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ


රජය ප්‍රතිපත්තියක් ලෙස සම ලිංගිකත්වයට විරුද්ධ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අද (18) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

මේ ගැන දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කරද්දී ඇමැතිවරයා කීවේ සමලිංගිකත්වයට විරුද්ධ වුවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. මේ සඳහා විරුද්ධ වන්නේ ඇයිදැයි විමසූ විට සේනාරත්න මහතා සඳහන් කළේ ආගමික නායකයන් ඒ සඳහා විරෝධය පළ කරන බවයි.

ජීඑස්පී සහන ලබා දීමේ එකඟතා සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් නැතැයි ද ඇමැතිවරයා කීවේය.

ප්‍රශ්නය - ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නේ ජීඑස්පී සහනය ගැනීම සඳහා නේද?

පිළිතුර - ජීඑස්පී දෙන්න ඔවුන් යෝජනා කළේ මීට සතියකට පමණ පෙර. මේ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම කැබිනට් මණ්ඩලයට ගෙනාවේ ඊයේ.

ප්‍රශ්නය - නමුත් මේක ක්‍රියාත්මක කරන එකඟත්වය උඩ නේද ජීඑස්පී ලබා දෙන්න යෝජනා කළේ?

පිළිතුර - එහෙම එකඟතා මත පමණක් ක්‍රියාත්මක වෙනවද.

ප්‍රශ්නය - ඔවුන් යෝජනා 58ක් ලබා දී ඇති බවට විපක්ෂය කියනවා. යුද හමුදාවේ සමහරුන්ට දඬුවම් දීමත් ඒ අතර තිබෙනවා කියා ඔවුන් කියනවා.?

පිළිතුර - යුද හුමුදාවට මුවා වෙලා අපරාධ කරන්න කාටවත් බෑ. රණවිරුවොයි කියලා කට්ටියක් යුද්ධ කළා, කට්ටියක් මිනී මැරුවා. ජීඑස්පී දෙන්න ප්‍රධාන දේවල් තුනක් යටතෙයි එකඟ වෙලා තියෙන්නේ. ඒ තමයි මානව හිමිකම් සුරක්ෂිත කිරීම, යහපාලනය සුරක්ෂිත කිරීම සහ තිරසාර සංවර්ධනය.   

ප්‍රශ්නය - ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන රතන හිමියන් ස්වාධීන වෙලා ආණ්ඩුව විවේචනය කළා නේද? ආණ්ඩුවට බලපෑම් කරනවා නේද?

පිළිතුර - කොච්චර හොඳද? සතුරන් බලපෑම් කරනවාට වඩා මිතුරන් බලපෑම් කරන එක හොඳයි.

ප්‍රශ්නය - නමුත් රතන හිමියන් මේ ආණ්ඩුව විවේචනය කළා. මේ ආණ්ඩුවේ ක්‍රියාකළාපය විවේචනය කළා.

පිළිතුර - ආණ්ඩුවේ යම් යම් දුර්වලතා තියෙනවා. හැබැයි තිබුණු ආණ්ඩුවට වඩා හොඳයි. එක රැයින් යහපාලනය ගේන්න පුළුවන් කියලා හිතන්න තරම් අපි මෝඩ නෑ.

ප්‍රශ්නය - රතන හිමියන් කිව්වා හම්බන්තොට වරාය චීනයට දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.

පිළිතුර - එහෙම නම් ඒ විරුද්ධ වෙන අයට කියන්න වරායේ විදයම රුපියල් මිලියන 9900 ගෙවන්න කියලා. ඒවත් බදු ගහලා මහජනතාවගෙන් අය කර ගන්නවට කැමතිද?

 ප්‍රශ්නය - ඔබ ගිය සතියේ කිව්වා ලොතරැයි මිල වැඩි කළ එක හොඳයි කියලා. එය දැන් අඩු කළා. දැන් මොකද කියන්නේ?

පිළිතුර - ඔව් ඉතින් අඩු කරන්න කියලානේ ඉල්ලුවේ. අඩු කළා.

ප්‍රශ්නය - ලොතැරයි මිල වැඩි කිරීම නිසා අලෙවි නියෝජිතයන් කළ වර්ජනයෙන් ලොකු පාඩුවක් වුණා නේද?

පිළිතුර - ඕක සූදුවක්නේ.

ප්‍රශ්නය - වැඩි කළ මිල අඩු කිරීමෙන් ජනපතිතුමා කළේ සූදුවකට ගහන්න උඩගෙඩි දීමක්ද?

පිළිතුර - අඩු කරන්න කියා ඉල්ලපු නිසා අඩු කළා.