සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්


(නිමල කොඩිතුවක්කු)

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇති බව  ඔවුන් සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත.

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්, සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.