සබරගමු සරසවියේ බිල්ඩිමක් කෝටි තුනක් ගිලලා


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සබරගමු විශ්ව විද්‍යාලයේ  නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීමෙදි සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

කොන්ත්‍රාත්කරු  ගිවිසුම්ගත වැඩ පැහැර හැර  ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බව  කෝප් කමිටුව පවසයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ . ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.


තවද රුපියල්  කෝටි දොළහකට   වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුණත්  ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යෑම නිසා මතුපිට රළු ස්වභාවයක්  ගැනීම හා පැති බැම්ම පුපුරා යෑම  ආදී  ගැටලු  රැසක් 2014 වසරේදී පැන නැගී තිබු බව විගණන කාර්යාලය පෙන්වා දී ඇතැයි  කෝප් කමිටුව පවසයි