සපුගස්කන්ද තිරිහන් කරන්න ඇමරිකාවත් එයි


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකා සමාගමකට හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ සමාගමකට භාරදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකාවේ වෙන්ටෙක් ඉන්ජිනියර්ස් සමාගම හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ එස්.එස්.ලූටාහ් සමූහය එක්ව සිදුකරනු ඇත.

නවීකරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශයට ඉදිරිපත් කෙරුණු ටෙන්ඩර 20 කට අධික ප‍්‍රමාණයක් අධීක්ෂණය කිරීමෙන් පසු මෙම සමාගම් වලට එම කටයුතු භාරදී ඇත.

අනෙක් ටෙන්ඩර වලට සාපෙක්ෂව අඩු වියදමකින්,අඩු කාලයකින් නමුත් ඉහළම තාක්ෂණයකින් නවීකරණය කටයුතු සිදුකළ හැකියැයි වෙන්ටෙක් හා එස්.එස් ලූටාහ් සමාගම් ද්විත්වය ඔවුන්ගේ ටෙන්ඩර වලින් පෙන්වා දී තිබේ.

නවීකරණ කටයුතු සදහා ඩොලර් බිලයන 1.5 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර එම කටයුතු අවසානයේ දිනකට තෙල් බැරල ලක්ෂයක් පිරිපහදු කිරීමේ හැකියාව පිරිපහදුවට ලැබෙනු ඇතැයි පැවසේ.

තවද පිරිපහදුව අවසානයේ ඉතිරිවන තෙල් වලින් අමතර ගුවන්යානා ඉන්ධනද,භූමිතෙල් හා ඞීසල් වැනි ඉන්ධනයන්ද පිරිපහදු කර ගැනීමේ හැකියාව ඇති කෙරෙන බවද සඳහන්ය.