මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පවසා සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ සහල් තොග නැවත ලබාගෙන පරිභෝජනයට සුදුසු ලෙස සකස් කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව කටයුතු කර ඇති බවත් එසේ සහල් පිරිසිදු කර සකසා දීමට හාල් මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
එසේ මිල ගණන් කැඳවා ලබාදුන් සහල් කිලෝ පන්ලක්ෂ හැත්තෑ අටදාස් අනුහයදහසක් පොලොන්නරුව සහ මින්නේරියේ සහල් මෝල් දෙකක තිබී විශේෂ පොලිස් කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් විසින් එක් සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
වැටලීම් කණ්ඩායම යන අවස්ථාවේ මෝලක සතොසට අයත් ලොරි රථ 10ක් පමණ තිබුන අතර සහල් මිනිස් පරිභොජනයට නුසුදුසු සහල් තොග එම ලොරි රථවල තිබී ඇති අතර එම මෝල් හිමියන් කල් ඉකුත් වු සහල් තිබු උර ඉවත් කර සතොස මගින් ලබා දුන් නව උර වලට දමා අලුතින් කල් ඉකුවීමේ දින සහ නිෂ්පාදිත දින සටහන් කර ඇතැයි කියති.
‘අපට ගොල්ලො ඉවත් කරලා පුස් ඉවත් කරලා ගල්වැලි අයින් කරලා මිනිස්සුන්ට කින්න පුඑවන් විදියට හදලා දෙනවාට සතොස විසින් හාල් කිලෝ එකකට රුපියල් 6.15ක් ගෙවනවා. අපට බෑග් දෙන්නෙත් ප‍්‍රවාහනය කරලා දෙන්නේත් පිරිසිදු කළ හාල් රැගෙන යන්නෙත් සතොස විසින්මයි. අපට හාල් කිලෝ මෙට්‍රික් ටොන් 500 සදහා රුපියල් විසිදෙකොටි පන්සිය ලක්ෂයක බැංකු ඇපකරයක් ද තියන්න වුණා. අපට මුලින්ම සහල් කිලෝ පන්ලක්ෂ අසුදාහක් ලැබුණා. අපි දන්නෙ නෑ අපිට කරන්න කියපු දේ අපි කළා‘ යැයි සහල් මෝල් හිමියෙක් කීවේය.
සතොස සභාපති මොහොමඩ් රිෂ්වාන් හමිඩ් පැවසූයේ සතොස ලබා දුන් සියලු සහල් තොග නැවැත සතොසට ගෙන්වා ගැනිමට කටයුතු කරන බවත් අද (28) ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විමක් තබා ඒ සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවත්ය.
පරිභොජනයට නුසුදුසු සහල් ගබඩාකර තිබු ස්ථාන දෙකක් මුද්‍රා තැබිණි.