විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ගුණවර්ධන මහතා සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි දූෂණ විරෝධී හඬ සංවිධානය එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.
හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව ද සැකකරු මෙතෙක් තොරතුරු හෙළිකර නැතැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා ජ.වි.පෙ. මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා නීතිඥ ජානක අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද උදේ 11.00ට පමණ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ පැමිණිල්ල විභාග කිරීමට ප‍්‍රමාණවත් කරුණු (සාක්ෂි) තිබේ දැයි සෙවීමට ඒ කටයුත්ත නීති අංශයට පවරන බවයි.

