කොස්ගොඩ ඉන්ධන පිරවුම්හළක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණි සජින් වාස් ගුණවර්ධන මහතා කථා කරද්දී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් හූ කියමින් ඔහුගේ කථාවට බාධා කළහ.
ගුණවර්ධන මහතා සිය කථාව නතර කර හූ හඬ මැද්දේම රැස්වීමෙන් පිටව ගියේය.
එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂ සංවිධායක කමල් ජයන්ත ද සොයිසා මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී කුෂාන්ත මෙන්ඩිස් මුලින්ම පැමිණ අසුන්ගෙන සිටියහ. ගුණවර්ධන මහතා මහතා එහි එනු දුටු ඔවුහු රැස්වීමෙන් පිටව ගියහ. ඔවුන් දෙදෙනා ඇතුළු පිරිසක් යළි එහි එන විට ගුණවර්ධන මහතා කථා කරමින් සිටියේය. එහි සිටි පිරිස් ‘හොරා හොරා‘ යනුවෙන් පවසමින් හිරේ සිටිය යුතු අය රැස්වීමට ඇවිල්ලා යනුවෙන් කෑගැසුහ.
පොල් මලක් විසුරුවා ගුණවර්ධන මහතා තෙල්හළ විවෘත කළේය. 2010 ජනපතිවරණ සමයේ විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාගේ රැස්වීමකටද සජින් වාස්ගේ ආධාරකරුවන් බව කියන පිරිසක් මෙවැනිම විරෝධයක් පෑ බව කියති.
දීපාල් සිල්වා

