වැලිවේරියේ නගරයේදී පිරිසිදු ජලය ඉල්ලා ගැමියන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය වැලිවේරිය බන්ඩාරවත්තේ ෂමිල රවිශාන් පෙරේරා සිසුවාගේ නිවසට අද උදෑසන ගිය හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ෂමිලගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
ෂමිලගේ ඥාතීන්ට ශෝකය පල කල ප්‍රේමදාස මහතා අවමගුල් වියදම් වෙනුවෙන් මුදලින් පරිත්‍යාගයක්ද කළේය.
උපකාරක පන්තියකට සහභාගී වී නිවෙස බලා එමින් සිටියදී වෙඩි පහරකට ලක්වූ ෂමිල මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි.
සිසුවාගේ අවසන් කටයුතු අද සවස 3.30 ට වැලිවේරිය රෝමානු කතෝලික සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
වැලිවේරිය නගරය සහ අවට ගම්මාන වල සුදු කොඩි ඔසවා තිබූ අතර ක්‍රීඩා පිටිද සුදු කොඩි වලින් සරසා ඇත.