(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය එම ආරාධනය පිළිගෙන ඇත. ඒ අනුව එම පක්ෂයේ නියෝජිතයකු සමුළුවට සහභාගි කරවීමට නියමිතය.
මෙම සාකච්ඡාවට සහභාගි වීමට ජනාධිපතිවරයා විවෘත ආරාධනය කරනු ලැබුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවය. කෙසේ වෙතත් පක්ෂයේ තීරණය හේතුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පැමිණීමද අවිනිශ්චිත වී ඇතැයි දැනගන්නට ඇත .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පක්ෂය සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සඳහා සෙසු සියලු දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනා කරනු ලැබුවේ ණය වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව බව කියති.

