සඟ කතිකාවත මහ උසාවියට


ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසිල හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) පෙත්සමක් ගොනු කළහ.

මෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.

2015 දරන තේරවාදී භික්ෂු කතිකාවත (ලියාපදිංචි) නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර තිබෙන අතර මෙම පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15 සහ 16 යන වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 4(ඇ) ,9,10,11,12(1), 12(2), 14(1) ඇ සහ 14(1) 6 වගන්තීන් වලට පටහැනි බව ඒ හිමියෝ කියා සිටිති.

මෙම පනත් කෙටුම්පත බලපැවැත්වෙන්නේ ථෙරවාද බුදු දහමට පටහැනිව බවත්, එබැවින් ථෙරාවාදී භික්ෂූන්ට නිදහස අහිම වන අතර මහායාන භික්ෂූන්, ක‍්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන්ට එය බල නොපාන බවත් පෙත්සම කියයි.

මෙම කථිකාවත තුළීන් නිදහස් සිතුවිලි වලට අනුව නිදහසේ තමන් කැමති ආගමක් ඇදහීමේ මූලික අයිතීන් අහිමි කිරීමක් බවද එහි දැක්වේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නියෝග කරන ලෙසද ඒ හිමියෝ කියා සිටිති.