සකුරාමලට එරබදු මලත් එක් වෙයි


සකුරාගස්වල පිපුණු දහසකුත් මල් කිනිති වලින් මේ අසිරිමත් වසන්තසමයේ ජපානයේ අගනුවර ටෝකියෝ නගරය පිරී ඇත. පසුගියදා මේ මනරම් නගරයවෙත වෙනත්ආකාරයේ ආලෝකයක් රැගෙන ආ මේ කාලයේ අප රට පුරාම දක්නට ලැබෙන එරබදු මල් කිනිති කිහිපයක් එකතුකල විසිතුරු කළා මංගල්‍යයක් එහිදී දැකගැනීමට අවස්ථාව උදාවිය.

එසේ වුයේ ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මුලිකත්වයෙන් වෙනත් විවිධ ශ්‍රී ලාංකික ස්වෙච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව පවත්වනලද 2013 බක්මහ උළෙල මහා සුර්ය මංගල්‍යය නිසාය.

ටෝකියෝශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවය පසුගිය වසර විසි හතරක් පුරාම නොකඩවාපවත්වා ඇති අතර අද වන විට ටෝකියෝ නුවර වාර්ෂික සංස්කෘතික වැඩසටහන් දිනදර්ශනයට ඇතුලත්වී ඇති වැදගත් ශ්‍රී ලාංකික වැඩසටහනක් බවට පත්වී ඇති බව සංවිධායකයෝ පවසති.

මෙවරඋත්සවයට ජපානයේ විවිධ නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සහ ජපාන ජාතිකයින් 5000 කට වැඩි පිරිසක් සහභාගී වුහ. ජපානය වැනි විදෙස් රටක ශ්‍රී ලාංකිකඋත්සවයක් සඳහා මෙතරම් පිරිසක් සහභාගී වීම ඉතාම විශිෂ්ට මෙන්ම දුර්ලභසිදුවීමකි.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වුයේ චෝෆු නගරාධිපති යෝශිකි නගටෝමෝ ය.

උත්සවආරම්භයේ සංවිධායකයන් වෙනුවෙන් පැමිණ සිටි සැමදෙන පිළිගනිමින් කතා කලජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැවසුවේ මෙවැනිවැදගත් කළා උළෙලක් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික උත්සවයන් සහ සංස්කෘතියේඅනර්ඝත්වය සහ ඉසුරුමත් භාවය පිලිබඳ මනා අවභෝධයක් ජපාන වැසියන්ට ලබාදීමට හැකියාවක් ලැබෙනවා මෙන්ම විවිධ ප්‍රදේශයන්හි කාර්ය බහුල ජීවිත ගෙනයන ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හටද එකට එකතුවී ජාතික උත්සවයක රසවත් කම බෙදා හදා ගැනීමේ අවස්ථාවක්ද උදාවන බවය.

ජපාන සහ ශ්‍රී ලාංකික සුරුපියන් සහභාගීවූ අවුරුදු කුමරිය තේරීමේ තරඟය මෙන්ම ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සව වලදී දකින්නට ලැබෙන සියලුම සම්ප්‍රදායානුකූල අංගයන්ද මෙවර ටෝකියෝ බක්මහ උළෙලට ඇතුලත්ව තිබුන අතර, දවස පුරාම පැමිණ සිටි සියලු දෙනාටම කැවුම් කිරිබත් ඇතුළු සියලුම වර්ගයේ ශ්‍රී ලාංකික ආහාර පාන පහසුවෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් උත්සවය පැවති භුමිය තුල සුදානම් කර තිබුණි.