සංගීතවේදී තිස්සසිරි පෙරේරා ජීවන ගීය නිමකරයි


ප්‍රවීණ සංගීතවේදී තිස්සසිරි පෙරේරා මහතා අද (12) අභාවප්‍රාප්ත විය.

දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇති ඒ මහතාගේ තනු නිර්මාණ අතර අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන්ගේ මා ළඟටම තව ළංවෙලා, කරුණාරත්න දිවුල්ගනේගේ ඔබ දන්නවනම් වැනි ඉතා ජනප්‍රිය ගීතද වේ.

ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියකු ලෙසද ඒ මහතා කටයුතු කළේය. තිස්සසිරි පෙරේරා මහතා ස්නායු ආබාධයක් හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත අයෙක් විය. ඒ මහතා අංක 310/ ඒ ,  උයන් කැලේ ගාලුපාර, පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන ඉරිදා (14) සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.

 

tissa_20162125