ෂැංහයි හිදී අපේ යානාවලට සලකන කොන්ත්‍රාත්තුව දෙයි


(අංජුල මහික වීරරත්න)

චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගුවන් සේවයක් වෙනුවෙන් බිම් මෙහෙවර සේවා සැපයුම්කරුවකු විසින් ඉටු කිරීමට අවශ්‍ය වන සේවා නිශ්චිතව දක්වමින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇති අතර ගුවන් මඟින්, භූමි සේවා සැපයුම් සහ භාණ්ඩ ගබඩා හසුරුවාලීම යන සේවා වලින් බිම් මෙහෙවර සේවා ප්‍රධාන වශයෙන් සමන්විත වේ. චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළෙහි දී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ගුවන් මගී සේවා හා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව 2025-12-31 දිනෙන් හා භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව 2026-03-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. ඉහත සේවාවන් සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් එම ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කරනු ලබන බලපත්‍රලාභී විකුණුම්කරුවන් වෙතින් ලංඝු කැඳවා තිබේ.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

* 2026-01-01 දින සිට 2028-12-31 දින දක්වා වසර 03 ක කාල සීමාව සඳහා ගුවන් මගී සේවා සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රතිචාර දැක්වූ එකම ලංසුකරු වන China Eastem Airlines Co. Ltd. වෙත යුවාන් මිලියන 27.929ක ඇස්තමේන්තුගත පිරිවැයකට පිරිනැමීම.

* 2026-04-01 දින සිට 2029 -03-31 දින දක්වා වසර 3 ක කාලසීමාව සඳහා භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව ප්‍රතිචාර දැක්වූ එකම ලංසුකරු වන China Eastern Air Logistics Co. Ltd වෙත චීන යුවාන් මිලියන 5.167 ක පිරිවැයකටත් පිරිනැමීම.