ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ද. අප‍්‍රිකාව පරදවා පස්වැනි ස්ථානය ලබති


කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සමත් විය. දකුණු අප‍්‍රිකාවට එරෙහිව මුම්බායිහිදී අද (15) පැවැති පස්වැනි ස්ථානය ස`දහා ශ්‍රේණිගත කිරීමේ තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 87 ක ජයක් ලැබූහ.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර අනිද්දා (17) මුම්බායිහිදී පැවැත්වේ.

තෙවැනි ස්ථානය සඳහා ඊයේ පැවැති තරගයේදී එංගලන්තය කඩුලූ 10 කින් නවසීලන්තය පරාජය කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

මෙම ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථකවම අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය ලෙස ද ඉතිහාසයට එකතු විය. එහිදී ශ‍්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් පළමු වටයේ එංගලන්තය සහ ඉන්දියාව ඉතිහාසයේ පළමු වරට පරාජය කරමින් ‘සුපිරි හය’ වටයට පැමිණීයේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ සියලූම තරග පරාජයට පත්විය.

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 243

(චමරි අතපත්තු 52, දීපිකා රසාංගිකා 43, ශෂිකලා සිරිවර්ධන 44, ඒෂානි ලොකුසූරිය 43, ශ්‍රීපාලි වීරක්කොඩි 15, චමනි සෙනෙවිරත්න නොදැවී 17, චිලොයි ටි‍්‍රඔන් 46/2, මර්සියා ලොට්සොලො 36/2)

දකුණු අප‍්‍රිකානු කාන්තා පිල  ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 156

(ටි‍්‍රෂා චෙට්ටි 15, ශන්ද්‍රි ෆිට්ෂ් 54, ඩැනි වෑන් නිකෙර්ක් 26, ශබ්නිම් ස්මයිල් 19, චමනි සෙනෙවිරත්න 35/2, ශ්‍රීපාලි වීරක්කොඩි 15/2, ශෂිකලා සිරිවර්ධන 32/4)