ශූරයන්ගේ කුසලානයේ රැඳුනු අවසන් මිදි යුෂ පොද


ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් අදියර හෙවත් හත්වැන්න හෙට (6 වැනිදා) එංගලන්තයේ කාඞීෆ් නුවරදී ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින් දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව තරග වදිනු ඇත.

වසර 1998 දී පළමුවැනි වරට ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ වූයේ ඒ වන විට ටෙස්ට් වරම් ලබා නොතිබුණ රටවල කි‍්‍රකට් කී‍්‍රඩාව ප‍්‍රචලිත කිරීමේ අටියෙනි. බංග්ලාදේශයේදී පැවැති පළමුවැනි තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් දෙපිල අතුරින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ දකුණු අපි‍්‍රකානුවෝ එහි ශූරතාව දිනාගත්හ.

එහෙත් මෙම තරගාවලියේ අවසානය සනිටුහන් කෙරෙන 2013 ශුරයන්ගේ කුසලාන තරගාවලිය තනිකරම කි‍්‍රකට් කී‍්‍රඩාවේ දැවැන්තයන් අතර පොරයක් වී තිබේ. තරගාවලියට සහභාගි වන්නේ එක්දින කි‍්‍රකට් කරළියේ ඉහළින්ම සිටින කණ්ඩායම් අටක් පමණි.

තරගාවලියේ සත්කාරක රට වන එංගලන්තයත්,  ඕස්ටේ‍්‍රලියාව, ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තයත් ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර ඉන්දියාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටිති.

මූලික වටයේ තරග වලින් අනතුරුව ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ උත්තම ගණය තවමත් ‘ටෙස්ට්’ තරග  සඳහාම වෙන්ව පවතින අතර දිනෙන් දින ජනපි‍්‍රය වෙමින් පවතින විස්සයි/20 කි‍්‍රකට් පේක්‍ෂකයාගේ වැඩි අවධානය දිනාගෙන තිබේ. මේ අතරවාරයේදී  ඕවර 50 තරග පිළිබඳ අවධානය අඩුවෙමින් යන බවක් කියැවේ.

කෙසේ වෙතත් 2013 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන කොදෙව් පිලේ කි‍්‍රස් ගේල්, නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් දෙදෙනාගේ පිතිහරඹයත්, දකුණු අපි‍්‍රකානු පිලේ ඬේල් ස්ටෙයින් සහ පාකිස්තානයේ සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමත් දින 18 ක් පුරා පැවත්වෙන මෙවර තරගාවලියට කිසියම් අවධානයක් ගෙනෙනු ඇත.

23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී කවුරුන් ජයගනීවිද යන්න පහසුවෙන් කිව හැකි අනාවැකියක් නොවේ. එහෙත් එංගලන්තයේ ඔට්ටු බාරගන්නා සමාගමක් වන ලැඞ්බෲක්ස් (කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔට්ටු බාරගැනීම එංගලන්තයේ නීත්‍යානුකූලව පිළිගත් දෙයකි.) සමාගම ඉදිරිපත් කර තිබෙන අගයන් අනුව දකුණු අපි‍්‍රකාව තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි අපේක්‍ෂා කරන කණ්ඩායමයි.

කෙසේ වෙතත් මේ දක්වා  ඕවර 50 කිසිදු තරගාවලියක් ජයගෙන නැති එංගලන්තය අපේක්‍ෂා කරන්නේ පවතින තත්ත්වයන් තමන්ට වාසිදායක වේය යන්නයි.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව මෙවන් තරගාවලියකදී පහසුවෙන් පසෙකට දැමිය නොහැකිය. නිමාවූ අයි. පී. එල්. තරගාවලිය නිසා ඉන්දිය කී‍්‍රඩකයන් හොඳ  රිද්මයකින් සිිටින නමුත් අයි. පී. එල්. තරගාවලියේදීම දැඩි ලෙස අසාර්ථකවූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මේ වන විට කණ්ඩායමක් සේ නැවතත් එක්තැන් වී සිටිති.

නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවන් වන මාටින් ගප්ටිල්, රොස් ටේලර් ලකුණු අතරට පිවිස සිටියදී  ඕස්ටේ‍්‍රලියානුවෝත් අවසන් තරගය ඉලක්ක කරමින් සිටිති.

වසර දෙකකට ඉහතදී ඉන්දියාවට ලෝක කුසලාන දිනා දුන් දකුණු අපි‍්‍රකානු ජාතික පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා මෙවර දකුණු අපි‍්‍රකානු පිලට ගුරුහරුකම් දෙයි. මෙම තරගාවලිය කර්ස්ටන්ගේ සමුගැනීමේ තරගාවලියද වෙයි.

සියල්ල මෙසේ තිබුණද තරගාවලියේ වඩාත්ම අනපේක්‍ෂිත පෙරළි කළ හැකි කණ්ඩායම් ලෙස පාකිස්තානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සැලකේ. දෙපිලේම සිටින කී‍්‍රඩකයන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සලසා දී ඇත.