ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ


ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ්චය කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන මහතාට ලැබී ඇතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (21 වැනිදා) නිවේදනය කළේය. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කරන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තීරක මඬුල්ලේ ප‍්‍රධානියාද වන, ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක රන්ජන් මඩුගල්ලේ මහතාය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අසමත් වීම නිසා ධර්මසේන මහතාටත් මඩුගල්ගේ මහතාටත් මෙම අවස්ථාව උදා වී තිබේ.

රන්ජන් මඩුගල්ලේ මහතා වසර 13 කට වැඩි කලක් අන්තර්ජාතික කි‍්‍රකට් තීරක මඬුල්ලේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර 2003 වසරේ ජොහැන්නස්බර්ග් නුවරදී  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේද තීරකවරයා වශයෙන් කටයුතු කළේය. එහෙත් ඉන් අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි හතරකදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම නිසා අවසන් මහ තරග හතරකම තීරකවරයා වීමේ අවස්ථාව මඩුගල්ගේ මහතා වෙතින් ගිළිහී ගියේය.

පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව තරගයක් විනිශ්චය කිරීමේ අවස්ථාව ලද නමුත් ශී‍්‍ර ලංකා පිල අවසන් තරගයට පැමිණීම නිසා කුමාර් ධර්මසේන මහතාගේ අවස්ථාව ගිළිහී ගියේය. අන්තර්ජාතිත කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේදී 2012 වසරේ විශිෂ්ටතම විනිසුරුවරයා ලෙසින් සම්මාන දිනාගත්තේද ධර්මසේන මහතාය.

ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගය විනිශ්චය කිරීමේ අවස්ථාව ලද අනෙක් විනිසුරුවරයා වන්නේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික රොඞ්නි ටකර් මහතාය.