ශී‍්‍ර ලංකාවේ දග පන්දුවට මුහුණ දීමට නවසීලන්තය හිත හදාගනී


ශී‍්‍ර ලංකාවේ දග පන්දු හමුදාවට මුහුණ දීමට නවසීලන්ත පිතිකරුවෝ කල් තබාම හිත් හදාගෙන සිටිති. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී නවසීලන්ත පිල මුහුණ දෙන පළමු තරගය ශී‍්‍ර ලංකා පිලට එරෙහිව හෙට (ඉරිදා) කාඞීෆ් හිදී පැවැත්වෙයි.

එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති එක්දින තරගාවලියේදී 2-1 ක පහසු ජයක් ලබාගැනීමට නවසීලන්ත පිල සමත් වූ නමුත් ශී‍්‍ර ලංකා පිලෙන් අලූත්ම ආකාරයේ තර්ජන එල්ල විය හැකි බව නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් දනී.

” ඕවර 30 ක් 35 ක් විතර අපට දග පන්දු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒකට අපි ලෑස්ති වෙලයි ඉන්නේ. අප ඊට එරෙහිව කි‍්‍රයාත්මක වෙන්න  ඕනෑ” යයි නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් මහතා තරගයට පෙර පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින දග පන්දු යවන්නන් අතර සචිත‍්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත් මෙන්ම තිලකරත්න ඩිල්ෂාන්ද සිටිති. කෙසේ වෙතත් අසම්මත පන්දු යවන්නකු වශයෙන් සැලකෙන අජන්ත මෙන්ඩිස් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට තෝරා ගෙන නැත.

වේග පන්දු යවන්නන් වශයෙන් පළපුරුදු කී‍්‍රඩකයන් වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරද සිටින බැවින් පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවශ්‍ය තරම් විකල්ප තිබේ. එහෙත් තරගය පැවැත්වෙන කාඞීෆ් කී‍්‍රඩාංගණය පිතිකරුවන්ට පරාදීසයක් වන බැවින් පන්දු යවන්නන්ට නම් එතරම් හිතකර තත්ත්වයක් එහි නැත.

ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී ඉන්දීය පිල ලකුණු 331 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් දකුණු අපි‍්‍රකානුවෝ ලකුණු 305 ක් ලබාගත්හ.

මෙම තරගාවලියේ ව්‍යූහය අනුව ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

”මේක හරියට පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට හුගාක් ආසන්නයි. යයිද හෙසන් මහතා වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ පළමු තරගය ජයගැනීම ඉතාමත් වැදගත් බවයි.

”ඇත්තටම සහභාගි වන සෑම තරගයක්ම දිනන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ වගේ තරගාවලියක ආරම්භය ඉතාමත් වැදගත්”
”ස්ථිර වශයෙන්ම අපි තව දෙසතියකින් තිබෙන අවසන් තරගය ගැන හිත කරදර කරගන්නේ නෑ” යයිද ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

පිට පිටම ලෝක කුසලාන තරගාවල 4 ක අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත් නමුත් ඒ හතරේදීම පරාජය වීමේ හිත් වේදනාව අමතක කිරීමද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට පහසු නොවනු ඇත. එහෙත් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී නම් ශී‍්‍ර ලංකා පිලට එතරම් සාර්ථක ආසන්න වාර්තාවක් නැත.

අවසන් වරට පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලි තුනේදීම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා පිල අසමත් විය.

කෙසේ වෙතත් නවසීලන්ත පිලට එරෙහි මෑත තරග ඉතිහාසය නම් ශී‍්‍ර ලංකා පිලේ වාසියට තිබේ. නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර අවසන් වරට පැවැති එක්දින තරග 11 න් 10 ක්ම ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්ව ඇත.

ශී‍්‍ර ලංකා පිලේ අස්ථාවර මැද පෙළ ආරක්‍ෂා කරගැනීමට නම් පළපුරුදු ඉදිරි පෙළ පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සාර්ථක විය යුතුය. ඩිල්ෂාන්ගේ සහායකයා වන්නේ වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාය. එක්දින අන්තර්ජාතික තරග 6 කදී ලකුණු 55.33 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින කුසල් ජනිත් පෙරේරාගේ ලකුණු ලබාගැනීමේ වේගය පන්දු 100 කට ලකුණු 84.26 කි.

ඉන්දියාවට එරෙහිව පැවැති  පුහුණු තරගයේදීත් පන්දු 94 කින් ලකුණු 82 ක් ලබාගැනීමට පෙරේරා සමත් වූ නමුත් දිනේෂ් කාර්තික්ගේ ශතකය නිසා ඉන්දීය පිල එම තරගය ජයගත්තේය.