ශී‍්‍ර ලංකාවට ලකුණු 161 ක අති විශිෂ්ට ජයක්


බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඊයේ (2 වැනිදා) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී ලකුණු 161 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 348 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන්  ඕවර 44.5 කදී ඉන්දීය පිලට ලබාගත හැකිවූයේ සියලූ දෙනා දැවී ලකුණු 187 ක් පමණි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරග 4 ක් පරාජය වීමෙන් පසුවය. මෙම තරගයට පෙර, ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දියාව අවසන් වරට පරාජය කරන ලද්දේ පසුගිය වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදීය.

ලකුණු 349 ක ඉලක්කයක් සොයා ගිය ඉන්දීය පිලේ, නායක විරාට් කෝලිද ඇතුළුව, පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 32 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට නුවන් කුලසේකර, රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. ලකුණු 65 දී ලසිත් මාලිංග විසින් මුරලි විජේ දවාගනු ලැබීමත් සමගම ශී‍්‍ර ලංකාවට සටනක් දීමේ ඉන්දීය බලාපොරොත්තු බිඳී ගියේ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන මහේන්ද්‍ර සිං දෝනිද මෙම තරගයට කී‍්‍රඩා නොකළ බැවිනි.

දිනේෂ් කාර්තික් සහ සුරේෂ් රයිනා එක්ව ලකුණු සංඛ්‍යාව 118 දක්වා ඉහළ දැමූ නමුත් ඒ වන විට ඉතිරිව තිබූ අවසන්  ඕවර 22 දී ලකුණු 231 ක් තරම ලබාගත යුතු විය. එවන් තත්ත්වයකදී නොතිබූ ලකුණක් සොයා ගිය සුරේෂ් රයිනා ලකුණු 33 කට දවාගැනීමට ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ.

ඒ වන විටත් තරගයේ ඉරණම කුමක්ද යන්න ලියැවී අවසන්ව තිබුණු නමුත් එය නිවේදනය කිරීම කාලය මෙන්ම ඉන්දීය පිතිකරුවන්ගේ ධෛර්යය මතද රඳා පැවතිණ.

සුපුරුදු තැන්පත් විලාසයෙන් පන්දු යැවූ රංගන හේරත් වැඩි සද්දයක් නොකරම කඩුලූ 3 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 60 න් ලකුණු 37 ක් පමණක් ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර දෙමිනි. ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායකද කඩුලූ දෙකක් බැගින් දවාගත්හ.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 159 කදී නොදැවී, ලකුණු 174 ක් ලබාගත් අතර මහේල ජයවර්ධනද ලකුණු 107 ක් රැුස්කළේය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 213 කි.

ලකුණු 25 ක් ලබා සිටියදී මහේල ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් ලැබුණු උඩපන්දුවක් ෂෝට් තර්ඞ්මෑන් හි සිටි කී‍්‍රඩකයා අතින් ගිළිහී ගියේය. එයින් නිසි ප‍්‍රයෝජන ලබාගත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පන්දු 112 කට මුහුණ දෙමින් අලංකාර හයේ පහර දෙකක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කළේ ලෝකයේ විශිෂ්ටතම ශ්‍රේණියේ පිතිකරුවකු වශයෙන් තමන් සතු කුසලතාව මැනවින් ප‍්‍රදර්ශනය කරමිනි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වුවද තිලකරත්න ඩිල්ෂාන් තුවාල ලැබීම නිසා කොදෙව් සංචාරයට එක්වූ තරංග, සිය තරග 165 ක එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කරමින් පළමු වතාවට ලකුණු 150 සීමාව පසුකර ගියේය.
එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු 150 සීමාව පසුකර ඇත්තේ සනත් ජයසූරිය (සිවු වතාවක්), තිලකරත්න ඩිල්ෂාන් (දෙවරක්) සහ උපුල් තරංග පමණි. මෙම ඉනිමත් සමගින් කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටද හිමිකම් කී උපුල් තරංග සනත් ජයසූරියට (වසර 2000 දී ඉන්දියාවට එරෙහිව සාජාහිදී ලකුණු 189 යි) පසු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දෙවැනි හොඳම එක්දින ඉනිම කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා බවටද පත්විය.

මහේල පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසමිනි. උපුල් තරංග සහ මැතිව්ස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 135 ක සම්බන්ධතාව සඳහා වැයවූයේ පන්දු 66 ක් පමණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම

ශ‍්‍රී ලංකාව

උපුල් තරංග - නොදැවී   174
මහේල ජයවර්ධන - ඇ. යාදව් ප. අශ්වින් 107
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 44  
අතිරේක    23
එකතුව  ඕවර 50 කදී කඩුලූ 1ක් දැවී 348

කඩුලු වැටීම : 1-213

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, සචිත‍්‍ර සේනානායක

පන්දු යැවීම : ෂාමී අහමඞ් : 10-0-68-0, උමේෂ් යාදව් : 8-0-65-0, ඉෂාන්ත් ශර්මා : 9-0-68-0, රවින්ද්‍ර ජදේජා : 9-0-55-0, රවිචන්ද්‍රන් අශ්වින්  : 10-0-66-1, විරාට් කෝලි : 2-0-9-0, සුරේෂ් රයිනා : 2-0-10-0

ඉන්දිය කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ඇ. මැතිව්ස් ප. කුලසේකර    5
ශීකාර් ධාවන් - ඇ. තරංග  ප. හේරත්    24    
මුරලි විජේ - ප. මාලිංග     30        
විරාට් කෝලි - ඇ. මැතිව්ස් ප. මාලිංග    2
දිනේශ් කාර්තික් - ස්ට. සංගක්කාර ප. හේරත්    22
සුරේෂ් රයිනා -  දුවද්දී දැවී ගියා    33
රවින්ද්‍ර ජදේජා - නොදැවී    49
රවිචන්ද්‍රන් අශ්වින් - ඇ. මාලිංග ප. සේනානායක    4
ෂාමී අහමඞ් - ප. සේනානායක    0
ඉෂාන්ත් ශර්මා - ඇ. සංගක්කාර ප. හේරත්    2
උමේෂ් යාදව් - ප. මාලිංග    0
අතිරේක             16
එකතුව  ඕවර 44.5 කදී සියළු දෙනා දැවී    187

කඩුලු වැටීම:  1-12, 2-52, 3-57, 4-65, 5-118, 6-142, 7-153, 8-153, 9-166, 10-187

පන්දු යැවීම:
නුවන් කුලසේකර : 9-0-37-1, ඇන්ජලෝ මැතිව්ස් : 8-2-23-1, සචිත‍්‍ර සේනානායක : 10-0-46-2, රංගන හේරත් : 10-0-37-3, ලසිත් මාලිංග : 7.5-0-40-2