ශිෂ්‍ය භටයෝ සමාව ගනිති


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගැටළුවට සම්බන්ධ වූ ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකයෝ අද (10) විදුහල්පති ලාල් දිසානායක මහතාට හා ගුරුවරුන්ට වැඳ සමාව ගත්හ.

ගුරුවරුන් දෙතුන් දෙනකු  විදුහල්පති සම්බන්ධයෙන් තමන් අතර මැවූ චිත්‍රය වැරදි බව විදුහල්පති සමග කතා බහ කරද්දී තේරුම් ගත් බව ඔවුහු කීහ.

 තමන්ට විදුහල්පති සමග කිසිදු ගැටුමක් නැති බවත්, විදුහලේ අභිමානය හා කීර්තිය නැංවීමට හැකි අයුරින් විදුහල්පතිට සහාය දෙන බවත් ශිෂ්‍ය භටයෝ පැවසූහ.

ආදි ශිෂ්‍ය භට සංගමයේ සාමාජිකයෝ ද ඊයේ (10) පාසලට පැමිණ සිටියහ.

විවිධ පිරිස් විසින් පාසලේ ඇතැම් සිසුන් අතර විදුහල්පති ගැන මවා ඇති වැරදි ප්‍රතිරූපය ගැන ඔවුන් දැනුම්වත් කර ඉදිරියේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවීමට වග බලා ගන්නා බවත් ඔවුහු පැවසූහ.

ආදි ශිෂ්‍ය භට සංගමයේ සභාපති ක්‍රිෂාන්ත රංගජීව මහතා පැවසුයේ විදුහල්පති පාසලේ සංවර්ධනය වෙනුවෙන් කළ බොහෝ දෑ ශිෂ්‍ය භටයන් නොදැන සිට ඇති බවයි.

රංගජීව මහතා මෙසේ ද පැවසීය.

‘මේ සිද්ධිය වෙලා තියෙන්නේ විදුහල්පති ගැන වැරදි තොරතුරු ළමයින්ට ගිහින් තියන නිසයි. නමුත් දැන් ශිෂ්‍ය භටයන් හරි දේ දන්නවා. විදුහල්පති පාසල වෙනුවෙන් කළ දෑ මේ ළමයින් දැනගෙන සිට නෑ.  දැන් ඒ දේවල් ගැනත් දන්නවා.

සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන ගුරුවරුන් දෙදෙනා ස්ථානමරු කර තිබෙනවා. අපි දන්නේ නෑ ඔවුන් සමග තවත් සම්බන්ධකම් තියෙන පිරිස් ඇතුළේ ඉන්නවාද කියා.

විද්‍යාලයයේ නැවත මෙවැනි ගැටළු ඇති නොවෙන්න ශිෂ්‍ය භටයන් විදුහල්පතිට උපරිම සහයෝගය ලබා දෙයි.

විටින් විට විද්‍යාලයයට කීර්තියක් අත් කර දුන් ශිෂ්‍ය භටයන් නැවතත් විද්‍යාලයයට කීර්තියක් අත්වෙන විදියට වැඩ කටයුතු කරයි.‘