ශිරානිට සාධාරණය ඉල්ලයි


ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය යළි සේවයේ පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි බවට දිනපතා පත්‍රයක වාර්තාවක් පළවූ නමුත් නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා මාධ්‍යයට එවැනි ප්‍රකාශයක් නොකළ බව නීතිඥ සංගමයේ සහකාර ලේකම් රජින් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු පදවියෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, බල රහිත, ශූන්‍ය හා නීති විරෝධී ක්‍රියාවක් බවත් එමඟින් ඇයට යුක්තියේ හා නීතියේ බලවත් අයුක්තියක් වූ බවත් එය සුදුසු ක්‍රියාමාර්ගයක් මඟින් නිවැරදි කළ යුතු බවත් තම ස්ථාවරය බව නීතිඥ සංගමය කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හා වෙනත් අධිකරණ පත්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨත්වය කුසලතාවය ප්‍රශ්න කළ නොහැකි අවංක භාවය හා ස්වාධීනත්වය පදනම් කරගෙන සිදුවිය යුතු බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.

නීතිඥ සංගමය කිසිම විරෝධයක් සංවිධානය නොකළ බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.