අල්ලස් කොමිසමේ සාමාජිකයකුගේ භාර්යාවක් තමාට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ හෙයින් අල්ලස් කොමිසමට ප්‍රකාශයක් කිරීම ගැන මූලික විරෝධයක් මතුකරන බවත්, ඊට කල් අවශ්‍ය බවත්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් කොමිසම හමුවේ කියා සිටියාය.
එම විරෝධය ලබන අප්‍රේල් පස් වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොමිසම ඇයට දැන්වීය.
මේ සඳහා ඇයට අප්‍රේල් පස් වැනිදා තෙක් කල් කොමිසම තීරණය කළේය.
ඇගේ නීතීඥවරුන් කියා සිටියේ පරීක්ෂණ පවත්වන ස්වභාවය, පරීක්ෂණ විෂය පථය ගැන ද කොමිසමෙන් දන්වා නැති හෙයින් ප්‍රකාශයක් කිරීමට ඇයට හැකියාවක් නැති බවයි.
ඉන්පසු නිලධරයෝ ඇයට කෙටියෙන් කියා සිටියේ වත්කම් හා බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කරන බවයි.
බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු පදවියෙන් ඉවත් කිරීමෙන් පසු ඇය පෙනී සිටි මුල්ම අවස්ථාව මෙයයි. ඇය සිය නීතීඥවරුන් සමග කොමිසමේ ඉදිරිපස ගේට්ටුව අසළට පැමිණිවිට එහි රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු කීවේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන ලෙසයි. ඇය එය ප්‍රතික්ෂේප කළාය.
ඇය මිනිත්තු 45ක් පමණ කොමිසමේ ගත කළාය.
සිය පුත් ශවීන් පැදවූ කාරයෙන් රාජගිරියේ නිවසට යන්නට පෙර මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්න කළ නමුත් කිසිවක් කීමට නැතැයි ඇය සිනාමුසු මුහුණින් කියා පිටත්ව ගියාය.