ශ්‍රීලනිපය දෙකඩ කිරීම සිහිනයක් පමණයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඛෙදා වෙන්කිරීම බැසිල් රාජපක්ෂ මහතා දකින සිහිනයක් පමණක් බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එවන් උවමනාවක් නොමැති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

පක්ෂය ඒකරාශී කර ඉදිරියට ගෙන යාම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රාවස්තියේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආබාධිත රණවිරුවන් පාරට ඇදදමා දේශපාලන වාසි ලබාගැනීමට කිසියම් පාර්ශ්වයක් මේ දිනවල උත්සාහ ගනිමින් සිටින බව  කී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරි අයවැයෙන් එම රණවිරුවන්ගේ ගැටළුව විසදීමට ජනාධිපතිවරයා මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද සදහන් කළේය.