ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල මාලිගාපිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ අතර පැමිණි පිරිස ආගමික වතාවත් සිදුකරමින් වැඩසටහන ආරම්භ කළහ.
නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් ඊට එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පක්ෂ 20ක නියෝජිතයෝ රැසක් ද එයට එක්ව සිටියහ.
‘අද ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරය. අවුරුදු 65ක් ගිහින් එය ශක්තිමත් වෙලා අඩුපාඩු හදාගෙන නැවත වතාවක් ශක්තිමත් ගමනක් ඇවිත් තියෙනවා. අද නායකත්වය උරුම විය යුතු පුද්ගලයාට එය ලැබී තිබෙනවා. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය සදාකාලිකව එතුමාගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සමග ඉදිරියට යයි කියා සිතන්න ඇති. අද එතුමාගේ සිතුම් පැතුම් ඉටුවෙලා තිබෙනවා. අපේ ජනපති වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන් දිනයත් පක්ෂය පිහිටවපු දවසේමයි. බණ්ඩාරනායක මැතිතුමා කොහේ හරි ඉඳන් බලන් ඇති අපේ පැලැන්තියේ නොවන දුප්පත් අයගේ පැලැන්තියේ දුක දන්න පුද්ගලයෙක් පක්ෂයෙන් නායකයා වීම ගැන. ඒකට ආශිර්වාද කරනවා ඇති.‘ යැයි කෘෂිකර්ම ඇමැති ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ කථාව කරමින් පැවසීය.
‘හරි පුද්ගලයාගේ අතට පක්ෂය ලැබී තිබෙනවා. අද මේ මාලිගාපිටිය පමණක් නොවෙයි මේ කුරුණෑගල නගරයම හිස් ගොඩක් බවට පත්වෙලා තියෙනවා. මේ පක්ෂයේ වටිනාකම නොදන්නා අයට කියනවා අද ඇවිත් බලන්න පක්ෂය නියම කෙනාගේ අතට ලැබී තිබෙනවා. ඒ නිසා ශ්‍රීලනිපයේ අපි සූදානම් ඕනෑම ගමනකට යන්න. අඩුපාඩු හදාගෙන ඒ ගමන ගිහින් පාක්ෂිකයන් වෙනුවෙන් රටට මේ ජයග්‍රහණය ලබාදෙන්න අපි සූදානම්.‘
‘අද වරායේ ඉඳන් සීටීබී එකේ, රක්ෂණයේ ඉඳන් ජනතා අයිතියට පත්වුණේ ශ්‍රීලනිපයේ වැඩසටහන් නිසා. ඒ නිසා ජනපතිගේ නායකත්වය යටතේ ජනතා ජයග්‍රහණ දවසින් දවස ලැබෙනවා. ඒක සමහරුන්ට දරාගන්න බැහැ. අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිසා ශ්‍රීලනිපය ශක්තිමත් වෙලා තියෙනවා. එතුමා අභියෝගය බාර නොගන්න පාක්ෂිකයන්ට හිනා වෙලා මේ වගේ ඉන්න බැරිවෙනවා. ඒ නිසා එතුමාට අපි ණයගැතියි.‘ යැයි ද දිසානායක මහතා කීවේය.
‘ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ පක්ෂයට නායකත්වය දෙමින් ඉතා පැහැදිලි දේශපාලන ගමනකට පක්ෂය අවතීර්ණ කර තිබෙනවා. එතුමා ළඟදී බෑන් කී මූන් හමුවී කීවේ මට බල කරන්න එපා ඉක්මන් ගමන් යන්න කියලා. අපි මේ ගමන කවුරුත් එක්රාශී කරගෙන පක්ෂය ඇතුළත තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යමු. අපේ පක්ෂය රැකගනිමින් අපරාජිත පක්ෂයක් බවට පත්ව මේ රටේ ජයග්‍රහණය සඳහා තේමාවක් කරගනිමු.‘ යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමුළුව අමතමින් පැවසීය.
(ඡායාරූප - අන්තර්ජාලයෙනි)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා