හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ විරෝධතාවය සම්බන්ධයෙන් ප‍්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (20) පැමිණිලිකරුවන්ට නියෝග කළේය.
ඒ අනුව ලබන මාර්තු 13 වැනිදා එම ප‍්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසද අධිකරණය පැමිණිලිකරුවන්ට දැනුම් දුන්නේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බව දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.
බොරලැස්ගමුව වේරහැර , ගංගාරාම පාරේ අංක 12 දරණ ස්ථානයේ පදිංචි අරුණ ප‍්‍රියශාන්ත ,සහ මත්තේගොඩ පදිංචි දොන් අසංක නන්දන ශ්‍රීනාත් යන නැමැත්තන් දෙදෙනා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එම පක්ෂයේ 2014 වසරේ දෙසැම්බර් මාසය වන විට පක්ෂ මහලේකම් වශයෙන් කටයුතු කළ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටිති.

