ශ්‍රීලංකන් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි


ශ්‍රී ලංකන් එයාර්ලයින්  සමාගම,  සීමාසහිත කේටරින් සමාගම සහ  සීමාසහිත මිහින් ලංකා පෞද්ගලික සමාගම  සම්බන්ධයෙන් සිදු වූ බව  පැවසෙන මූල්‍ය අක්‍රමිකතා  පිළිබඳ සොයා බැලීමට පත් කළ  ජනපති කොමිසමෙහි  නිල කාලය ලබන වසරේ  පෙබරවාරි 15 දක්වා  දීර්ඝ කර තිබේ.

2006  ජනවාරි මස 01 වැනිදා  සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා කාලයේ අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින්   පසුගිය  පෙබරවාරි  14  වනදා මෙම කොමිසම පත්  කළ අතර  එහි නිල කාලය දෙසැම්බර් 31  වැනිදායින්  අවසන්වීමට නියමිතව තිබිණි.


අද (19) පෙරවරුවේදී ජනාධිපතිවරයා   කොමිසමේ සාමාජිකයන් හමු වී එහි  පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මේ පිළිබඳව පවසා තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී අද මෙම හමුව පැවැත්විණි. 

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(36698)