ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි


ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්ගයක පයින් ගමන් කරන විට වාහනයක් මොහුව හප්පාගෙන ගොස් ඇති බවත්   සිරුර සොයා ගැනිමට හැකි වූයේ අනතුර සිදුව පැය කිහිපයකට පසුව බවත් නාපෝලි පොලිසිය කියයි.

මියගිය තරුණයාට ඉදිරියේදී විශාල වන්දි මුදලක් ලැබීමට නියමිත බැවින්  සිරුරට අයිතිවාසිකම් කීමට දෙපිරිසක් ඉදිරිපත්ව ඇති නිසා එය ශ්‍රී ලංකාවට එවිම පමාවෙතියි දැන ගන්නට ඇත. මේ හේතුව නිසා මියගිය තරුණයාගේ ගමන් බලපත්‍ර අංකය ලබා දෙමින් ලංකාවේ සිටින දෙමාපියන් සොයා දෙන ලෙස ඉතාලි පොලිසිය රෝම තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වු තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔහුගේ දෙමාපියන් හදුනාගෙන ඔවුන් විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙන්වා, මියගිය තරුණයාගේ දේහය ලංකාවට ගෙන්වා ගැනිමට නීතීමය කටයුතු කරගැනිම සදහා නාපොලි නුවර සිටින පැතුම් ජයසිංහ නැමති අයකුට නීතීමය බලය පවරා තිබේ.

ඒම ලියවිලි රෝම තානාපති කාර්යාලය මගින් නාපොලි පොලිසියට ලබා දී ඇතත් තවත් වෙනත් පිරිසක් මියගිය තරුණයාගේ සිරුර මල්ශාලාවකට රැගෙන ගොස් ඇතැයි පැතුම් ජයසිංහ එසැණට පැවසිය.

තරුණයාගේ ඥාතීන් කියාගන්නා එම පිරිස හා තවත් පුද්ගලයෙකු ද සමග එක්ව ඉතාලි ජාතික නීතීඥයින් දෙදෙනෙකුගේ ද සහාය මේ සඳහා ලබාගෙන ඇත.

තානාපති කාර්යාලයෙන් විමසීමේ දී කියා සිටියේ මියගිය තරුණයා ගේ සිරුරේ භාරකාරිත්වය පැතුම් ජයසිංහ සතුවන බවයි.