ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට තවත් පාඩුවක්


    (මනෝප්‍රිය ගුණසේකර)


මගීන් 280කට ගමන් කළ හැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32 ක් රැගෙන  රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මහත්මිය පැවසුවාය.

ඒ  ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේදීය.

ලංකාවේ සිට රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රුපියල් ලක්‍ෂ 172 ක වියදමක් දැරීමට සිදුවූ බවත් මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්‍ෂ 250 ක මුදලක් ගෙවූ බවත් අවන්ති අබේසිංහ මහත්මිය වැඩිදුරටත් හෙළි කළාය.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්ෂි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත්කළ මෙම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරන අතර එහි සාමාජිකයින් වශයෙන් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලසන්තා ගීගනගේ මෙනෙවිය සහ විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්.එල්.ඩී. හැරල්ඞ් මහතා කටයුතු කරති.

අතිරේක සොලිසිටර් ජනරාල් චතුර ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කිදුන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මෙනෙවිය කියාසිටියේ 2011 ජුනි මස 16 වැනිදා කටුනායක සිට රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) සඳහා බව කියමින් ඍජු ගුවන් ගමනක් ගිය බවත්, එම ගුවන් යානය 2011 ජුනි මස 18 වැනිදා යළි ලංකාවට පැමිණි බවත්ය.

 ඒ-340 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් සඳහා රුසියාවට ගෙන ගිය හේතුව තමන් නොදන්නා බවත් ඇය කීවාය.

වැඩිදුර සාක්ෂි විභාගය පැවැත්වේ.