ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් 54ක් ආවේණිකයි


ශ්‍රී ලංකාවේ මිරිදිය මාළු විශේෂ 93ක් සිටින බවත් එක් මාළුවකු සොයාගත නොහැකි වුවද වඳවී ගියායැයි සිතා සිටි මසුන් විශේෂ තුනක්, නව විශේෂ හතරක් සොයාගත හැකිවූ බවත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඉන් විශේෂ 54ක් ශ්‍රී ලංකාවට ආවේණික බව ද එම සංගමය පවසයි. ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ වසර හතක් පුරා කරණ ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටිතැයි විශ්වාසයක් ඇති මාටින්ස්ටයිනිගේ වැලිගොව්වා නමැති මත්ස්‍ය විශේෂය හමු නොවූ බවයි. අත්වැල්තොටින් හමුවූ සත්ත්ව නිදර්ශකයක් උපයෝගී කැර ගනිමින් මේ මාළුවා සත්ත්ව ලෝකයට හඳුන්වා දී ඇත්තේ 1998 වර්ෂයේ දී ය. එම නිදර්ශකය හැර එම විශේෂයෙන් වෙනත් කිසිදු මත්ස්‍යයකු මෙතෙක් හමුවී නැත. මේ මාළුවා පිළිබඳ දීර්ඝව සොයා බැලුව ද සොයාගත නොහැකි වූයේ වඳවී යාම නිසා යැයි සැකයක් පැවතිය ද ඒ බව ස්ථිරව කීමට තවමත් මාළුවා සොයාගත නොහැකිව ගතවූ කාලය ප්‍රමාණවත් නැතැයි ද ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

ඔවුන් සිදුකළ මේ පර්යේෂණය මෙතෙක් මෙරට එක් සත්ත්ව කොට්ඨාශයක් සම්බන්ධයෙන් සිදුකරණු ලැබූ දීර්ඝත ම පර්යේෂණයයි. 2007 වර්ෂයේ දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව ගාලු හා මාතර දිස්ත්‍රික්කයන්හි ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියකින් ආරම්භ වූ මෙරට මිරිදිය මත්ස්‍යයන් පිළිබඳ සමීක්ෂණය අවසන් කර ඇත්තේ 2014 වර්ෂයේ අවසානයේ දී ය.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසන්නේ මෙතෙක් විවිධ පර්යේෂකයන් විසින් සිදුකරණ ලද මසුන් සම්බන්ධ පරීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් හා නව පර්යේෂණ ද සිදුකරමින් ඒ ඒ මසුන් වාර්තාවන බව ට සළකුණුකැර තිබූ සියළුම ස්ථානවලට ගොස් එම තැන්වල තවමත් ඒ මාළු සිටනවා ද යන්න අධ්‍යයනය කළ බවයි. මේ අනුව ඒ ඒ සතුන්ගේ ආවේණික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය. එමෙන් ම මේ වනවිට ලෝකයේ භාවිතාරකරණ නවීනත ම නාමකරණ දත්ත භාවිතා කැර ඇති බවත් ඇතැම් මසුන්ගේ ඝන නාමය පවා වසර කිහිපයක ඇවෑමෙන් වෙනස් වී තිබූ බැවින් අළුත් විද්‍යාත්මක නාමකරණ අනුව ශ්‍රී ලංකාවේ සියලුම මිරිදිය මසුන් හඳුන්වාදී ඇති බවත් මධුර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම මිරිදිය මත්ස්‍යයා වූ වලයා සොයාගත නොහැකි වූ අවස්ථාවේ වලයා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය සිදුකරණ ගවේෂණයට වලයා ගැන තොරතුරු අවශ්‍ය බව ලංකාදීප පුවත්පතේ පළකල විට වලයා පහසුවෙන් සොයගත හැකි වූ බව ද පර්යේෂකයෝ පවසන්නේ ස්තූති පූර්වකය.

ඔවුන් කළ මේ පර්යේෂණය දැන් පොතක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. ශ්‍රී ලංකාවේ සිටින මිරිදිය මසුන්ගේ වර්ණ ඡායාරූප එහි අඩංගු වෙයි. ඒ ඒ මසුන් ජීවත්වන පරිසරය, පරිසයේ ස්වභාවය හා ඒ ඒ මසුන් සංරක්ෂණය කිරීමට වෙන වෙනම ගතයුතු ක්‍රියාමාර්ග ද මේ පොතේ දැක්වෙයි.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ පොතට මුද්‍රණ අනුග්‍රහය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ලබාදුන් බවයි.

පොත එළිදැක්වීමෙන් පසු ජනවාරි 30, 31 හා 01 දා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. එය මාළුන්ට ආදරය කරණ, පරිසර හිතැති කාටත් මහඟු අවස්ථාවක් වනු ඇත. 

Fish (12) Fish (13) Fish (11) Fish (10) Fish (1) Fish (5) Fish (7) Fish (9)