ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ජපානයෙන් විශේෂ නියෝජිතයෙක්


ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කිරීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා මහතා අද(12) පැවසීය.

ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකාච්ඡාවකට සහභාගී වෙමින් යොෂිහදෙ සුගා මහතා එසේ පැවසීය.

සුගා මහතා වැඩිදුරටත් පැවසූයේ මේ සඳහා ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා පත්කිරීමට ජපාන රජය ක්‍රියාකරන බව ය.
ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය සහ සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව සැම විටම සාමය සහ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවත්, කිසිදු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගයක් හෝ ඉඩකඩක් නොමැති බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළහ.
ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල එකමුතුවෙන් ඉන්දීය සාගර සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බව අගමැතිවරයා පැවසීය. ඉන්දීය සාගර කලාපයේ සාමය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොදු එකඟත්වයනට එළැඹිට එමගින් හැකි වන බවට විශ්වාසය පළ කෙරිණි. 
ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි. ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කරලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.