ශ්‍රී ලංකාවට සහයෝගය නොදෙන්න’යි මෛත්‍රීයන් කියයි


( තිළිණි ද සිල්වා )

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් ලබා දෙන ලෙසට ඉල්ලා  ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව විරෝධය පළ කළ යුතු යැයි ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂය සඳහන් කරන බව ඉන්දියාවේ එක්ස්ප්‍රස් නිව්ස් පුවත්සේවය අද (21) වාර්තා කළේය.

එම නිසා  හෙට (22) දිනයේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාවට විරුද්ධව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව වී.මෛත්‍රියන් පෙන්වා දෙයි.
එම පක්ෂයේ නායක වී.මෛත්‍රියන්  සඳුදා (20) එරට පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය බලපෑම් කළ යුතු බව ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටක් කියා ඇත.

යුද්ධය අවසන් වී වසර 8ක් ගතවුව ද මෙතෙක් ශ්‍රී  ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බැවින් ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසයි. 
ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකරදෙන ලෙස  ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් තමා ඉල්ලා සිටින බව ද ඔහු එරට පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.