(සිරාජ් හසීම්)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවටත් යුද අපරාධ යාන්ත්‍රණය සිදුකිරීමේදී විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත යුතු බවටත් රජයට බලකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කිරීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අද (14) සම්මත විණි.
ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයං අයිතිය ලබා දී ෆෙඩරල් විසදුමක් ලබා දිය යුතු බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටත් ඉන් ඉල්ලා තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජයතිලක සහ තිලකරත්න යන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව යාමත් පළාත් සභාවේ විපක්ෂනායක කේ.තවරාසා මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීන් මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීමත් මත මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම යෝජනාව ලබන 16 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව යොමුකිරීමට නියමිත බව සිවාජිලිංගම් මහතා ‘ලංකාදීපය‘ට පැවසීය.

