ශ්‍රී ලංකාවට කාල දිගුවක් දීමේ යෝජනාව සභාගත කරයි


( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසරක කාලයක් ලබා දිය යුතු බවට වන නව යෝජනාවේ මූලික කෙටුම්පත අද(13) එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කළ බව ජිනීවා හි තානාපති ආරංචි කියයි.
ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය ,මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් හි සම අනුග්‍රාහය මත මෙම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නව යෝජනාවේ මූලික කෙටුම්පත  සකස් වී ඇතැයි වාර්තාවේ.
මෙම නව යෝජනාවට ශ්‍රී ලංකාවද සම අනුග්‍රාහකත්වය ලබා දීමට නියමිතය.
ලබන 22 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ වාර්තාවේ ප්‍රගතිය මෙවර සැසියේ දී ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් පසු මෙම රටවල් හතරෙහි සම අනුග්‍රාහකත්වයෙන් යුතුව සැකසූ නව යෝජනාව සැසියට ඉදිරිපත් කර කවුන්සිලයේ සාමාජික රටවල් 47ක අනුමැතියට ඉදිරිපත් කොට එය සම්මත කරවා ගනු ඇතැයි ද ජිනීවා තානාපති ආරංචි පවසයි.