ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන් ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මහජන සුබසිද්ධිය සඳහා නෛතික ක්‍රියාවලිය යටතේ මීට වසර දෙකකට පෙර ඉදිරිපත් කරන ලද පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිශ්ප්‍රභ කළේය.
කච්චතිව් දූපත, පෝක් සමුද්‍ර සන්ද්‍රීය සහ මන්නාරම් බොක්ක තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර ගැටුම් ඇතිවෙන ප්‍රදේශ යැයි සඳහන් කරමින් ආනන්ද මුරුගන් නැමැති නීතිඥවරයෙක් 2014 දී එම පෙත්සම ඉදිරිපත් කළේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතන්පුරම් පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ පාලනය යටතේ පැවැති කච්චතිව් දූපත ඉන්දීය මධ්‍යම රජය ඒකමතික ගිවිසුමකින් ශ්‍රී ලංකා රජයට පවරා දුන්න ද ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් සිටින්නේ වැරැදි අවබෝධයකින් යැයි පෙත්සම්කරු පැවසීය.
ධීවර කටයුතුවල යෙදීමේ අයිතියත් කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත යෑමේ අයිතියත් ඉන්දීයාව සතු වුවත් ඉන්දීය ධීවරයන්ට දූපතට පැමිණිය හැක්කේ මාළු දැල් වියළීමට පමණක් යනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි