ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජය ලබයි


 

(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකාව ලකුණු 43 කට කඩුලු තුනක් දැවී සිටියදී පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) සිවුවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

පැතුම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස්කළ අතර එය ඔහුගේ හයවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි. පැතුම්ගේ ලකුණු 114 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්විය.

චරිත් අසලංක පන්දු 93 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 286 (සෞම්‍ය සාකර් 68, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 40, තව්හිඩ් රිඩෝයි නොදැවී 96, මුෂ්ෆිකර් රහීම් 25, ටන්ෂිම් හසන් සකීබ් 18, ටස්කින් අහමඩ් නොදැවී 18, ඩිල්ෂාන් මධුසංඛ 30/2, වනිඳු හසරංග 45/4) ශ්‍රී ලංකා පිල ඕවර 47.1 කදී කඩුලු 7 ට 287

(පැතුම් නිස්සංක 114, කුසල් මෙන්ඩිස් 16, චරිත් අසලංක 91, දුනිත් වෙල්ලාලගේ නොදැවී 15, වනිඳු හසරංග 25, ෂොරිෆුල් ස්ලාම් 49/2, ටස්කින් අහමඩ් 49/2)