ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය මාර්තු 30 දා ?


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2013/2014) ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. උපාලි ධර්මදාස මහතාගේ සහභාගිත්වයෙන් යුත් ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන නිලධාරී මණ්ඩලයේ නිල කාලය මෙම මස මුලදී අවසන් විය.  
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊළග නිලවරණයේදී සභාපති ධූරයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ වසර කීපයක් කටයුතු කළ නිලධාරියකු ඉදිරිපත්වීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතාට ද නිලවරණයට ඉදිරිපත් වන ලෙස ක‍්‍රීඩා සමාජ කීපයක් ආරාධනා කර ඇති බව ද දැනගන්නට ඇති අතර ඒ මහතා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ප‍්‍රබල නිලධාරියකුට සම්බන්ධ පාර්ශවයක් සමග එකතුව නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් පවතින බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ක‍්‍රිකට් නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස පසුගියදා පැවැති විශේෂ රැස්වීමකදී ඉහළ දේශපාලන බලධාරියකුගෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් ලැබී ඇති බව ද කියවේ.