ශ්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් තරගය හෙට


දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (13) මුම්බායිහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.

‘සුපිරි හය’ වටය අවසන් කරමින් හෙට පැවැත්වෙන නවසීලන්තය සහ එංගලන්තය අතර සහ  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග දෙක ඉතාමත් තීරණාත්මක වී තිබේ.

අවසන් මහා තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ජය ලැබුවහොත් කිසිඳු ආබාවකින් තොරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. කොදෙව් ක‍්‍රීඩිකාවෝ ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය පරාජය කරමින් පෙරමුණට පැමිණීමට සමත් වූහ.  

ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙන දිවා රාත‍්‍රි තරගයෙන් ජය ලබන කණ්ඩායමට, කොදෙව් පිල  ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වුහොත් ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාව තිබේ.

ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 8 ක් ද, බටහිර ඉන්දීය කොදෙව් ප‍්‍රසාද ලකුණු 6 ක් ද ලබා සිටියි. එංගලන්තය සහ නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 2 ක්  ලබා සිටියි. දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු හිමිකර ගෙන නැත.