ශෂී වීරවංශගේ නඩුවට නීතිපති උපදෙස් පතයි


හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද (15) කියා සිටියේය.

හෝකන්දර මංගල මාවතේ අංක 74ජේ නිවසේ පදිංචි ශෂී වීරවංශ නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සෙහාෂා උදයකාන්ති නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයකාන්ති ව්‍යාජ හැඳුනුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයිද රහස් පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර නීතිපති උපදෙස් පතා ඇතැයිද එහෙයින් පැමිණිල්ල වෙනත් දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය. නඩුව සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.

ශෂී වීරවංශ මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇපමත මුදා හැරිණි. වීරවංශට ජාතික හැඳුනුම්පත් දෙකක් (675320233වී) , ( 715346469වී) හා ගමන් බලපත්‍රද දෙකක් (එන් 1284124), (ඩී3642817) ඇතැයි රහස් පොලිසිය දැන්වීය.