ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක්ලු


(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි  කියන   හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද(12) නියෝග කළේය.

සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

සැකකාර රාජපක්ෂ මහතාට නින්දේදී එක් පැයකට තිස්පස් වතාවක්  හුස්ම හිරවීමේ රෝගයක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස ගෙන  ඇප ලබා දෙන්නැයි විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන සැකකරු මාසයක් බන්ධනාගාරගතව සිටි බවත් රෝගය ඔය කියන තරම් බරපතල නම් මේ වනවිට  මියගොස් සිටිය යුතු බවත්,එසේ එයින් ඔහුට බරපතල රෝගයක් පවතින බවට අල්ලස් කොමිසම විශ්වාස නොකරන බවත් සඳහන් කළේය.එසේ හෙයින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මෛත්‍රාත්වරයා රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිත දේශන ගොනු කරනකරන ලෙසට  දන්වා සිටියේය.