ලොව ප්‍රධාන පෙළේ නාවික සමාගමක් වන හොංකොං හි ඩ්‍රීම් කෘෘසස් සමාගමේ නෞකාවක් සඳුදා (31) කොළඹ වරායට සේන්දු විය.
ආසියාවේ දෙවැනි විශාලතම නෞකාව ලෙස සැලකෙන ඩ්‍රීම් කෘෘස් නෞකාව පිළිගැනීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු රජයේ නියෝජිත පිරිසක් එහි ගොස් සිටියහ.
මෙම නෞකාවේ අති සුඛෝපභෝගී සවාරියක් යෑමට මගීන්ට අවස්ථාව සලසා දී ඇත. මගීන් 3400කට පමණ එකවර ගමන් කළ හැකි එහි සේවක සංඛ්‍යාව 2000ක් පමණ වේ. ප්‍රණීත ආහාර පාන සහිත අභ්‍යන්තර ආපනශාලා 35ක් සහිත මෙම නැවෙහි ආලින්ද සහිත එකට යා කැරුණු කාමර 100කට අධික සංඛ්‍යාවක් ඇත. මගීන්ගේ බාහිර කුටි 3360ක් එහි ඇත.
මෙම නෞකාවේ බර ටොන් 151300කි. එහි දිග අඩි 1099කි. එනම් කිලෝ මීටරයකින් 4/10කට ආසන්නය. පළල අඩි 131කි. මෙම නැව ජර්මනියේ නිෂ්පාදනය කර ඇති අතර තට්ටු 19කින් සමන්විතය. එහි දිග වොලිබෝල් පිටි 18ක දිගට සමානවේ.
පැය පහක පමණ කාලයක් මෙරට වරායේ නැංගුරම්ලා තිබූ ඩ්‍රීම් කෘෘස් නෞකාවේ දැවැන්ත රංග ශාලා තුනක් ද නිර්මාණය කර ඇත. මගීන්ට ඒවායේ විවිධ නර්තන, සංගීත හා සර්කස් වැනි ප්‍රසංග නැරඹීමේ අවස්ථාවද උදාවේ. එහි ප්‍රධාන රංග ශාලාව ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රඟහලට වඩා මදක් කුඩා එකකි. විනෝද උද්‍යානයක් සහ ජල තටාකද එහි වේ.
සාප්පු සංකීර්ණයක් හා කැසිනෝ ශාලා රැසක්ද නෞකාවේ දක්නට ලැබේ. මගීන්ට අමතක නොවන අපූරු අත්දැකීමක් ලබාදීමට සමත් මෙම සිහින යාත්‍රාව කොළඹට සේන්දු වීම පිළිබඳ අදහස් දැක්වූ ඩ්‍රීම් කෘෘසස් සභාපති තැචර් බ්‍රවුන් සඳහන් කළේ ආශ්වාදනීය නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරකයින්ට ද අවස්ථවක් ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳ සතුටු වන බවයි.
ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපෘතියට වියදම් වූ මුදල මෙන් තුන් ගුණයකට ආසන්න මුදලක් නැව නිෂ්පාදනයට වියදම් වී ඇත.නැව නිෂ්පාදනයට වියදම් වූ මුළු වියදම ඇමෙරිකා ඩොලර් කෝටි 100කි(රුපියල් කොටි 14 700ක්).
(වීඩියෝ මනෝජ් හර්ෂික)