රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර මහතා විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2016 ජනවාරි 22 වැනි දා සිකුරාදා කොළඹ දී පැවැත්විණි. ඒ සඳහා මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ බව කියමින් වෙබ් අඩවි කිහිපයක නම පළ වූ වෛද්‍යවරුන් ගැන එම මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
වකුගඩු ජාවාරමට සම්බන්ධ යැයි මාධ්‍යවල පළ වූ එක්තරා වෛද්‍යවරයකු ගැන ඩබ්ලිව් ඩී ධනංජය මාධ්‍යවේදියා විමසද්දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේ කොළ කැබැල්ලක ඔහුගේ නම ලියා තමන්ට ලබා දෙන්නේ නම් ඔහු තම සංගමයේ සාමාජිකයකුදැයි විනාඩි දහයත් ඇතුළත දැනුම් දිය හැකි බවයි.
වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව එම නම ලියා දුන් පසු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කරනු දක්නට ලැබිණි. මාධ්‍යවේදියා හෑල්ලුවට ලක් වන ආකාරයෙන් වෛද්‍යවරයා කටයුතු කරනු දක්නට ලැබිණි.
මාධ්‍ය සාකච්ඡාවල දී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවල පිළිතුරු දීමේ නොහැකියාව වසා ගැනීමට මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක් කිරීම අපි තරයේ හෙළා දකිමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා සියලු ක්‍රියාමාර්ග ජනතාව අතරට යන්නේ ජනමාධ්‍යවේදීන් නිසාය. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් හා මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටියි. ‘‘

