වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල්යයි


 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය මාර්තු 03 සහ 10  වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද  (19) තීන්දු කළේය.

විත්තිකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් මේ දිනවල ස්වයං නිරෝධනයට යොමුව ඇති හෙයින් මෙම පෙත්සම් විභාගය සදහා කල් ලබා දෙන්නැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස පෙත්සම් විභාගය කල් තබන ලදී.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති  අර්ජුන ඔබේසේකර  සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත  අභිචනාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.

සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටියි.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට බාර දෙනු ලැබීය.අභියාචනාධිකරණයේ භාෂා පරිවර්තකවරිය විසින් චෝදනා පත‍්‍රය කියැවිමෙන් පසු එම චෝදනා වලට වරදකරුද , නිවැරදිකරුද වෛද්‍ය පාදෙණිය මහතාගෙන් විමසන ලදී.එහිදී වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව පවසන ලදී.ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ විණි.
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.

ගොනු කරනු ලැබූ එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන ,එම ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් ජනවාරි 31 වැනිදා තීන්දුවක් ලබා දෙන ලදී. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉකුත් අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව ඇබොලිෂ් සයිටම්   නැමැති සංකේත වැඩවර්ජනය පැවැත්වූ අතර  එම වර්ජන ක‍්‍රියාමාර්ගයෙන් පසුව එදිනම සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා  අපහාසාත්මක හා නිර්දය ලෙසින් විවේචනයට ලක් කර ඇත.

එලෙස විචේනය කිරීම අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලූවට ලක් කිරීමක් බවත් ,එයාකාරයෙන්  අධිකරණ තීන්දුවක් විවේචනයට ලක් කිරීම  අධිකරණයට කරන  අපහාසයක් වේ.

එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය යටතේ වගඋත්තරකරුට එරෙහිව අධිකරණ අපහාස කිරීමේ චෝදනා යටතේ විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන්නැයි පෙත්සම්කාර මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.