වේල් ගණනක් බත් නැතිව අඹුසැමි යුවළක් මුරුංගා කොළ තම්බාගෙන කාලා


(රඹෑව මනුල වික්‍රම)

වගා කන්න හයක් පාළුවීමෙන් ඇතිවී තිබෙන ආහාර හිඟය නිසා වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් අඹු සැමි යුවළක් ගැන කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දෙන ගම්මානවල ජනතාවට ආධාර කිරීමේ වැඩසටහනක් මිරිසවැටිය රජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මේ දිනවල ක්‍රියාත්මක වෙයි.


කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල ගම්මානවල ආහාර පාන හිඟයෙන් පෙළෙන, ආධාර දීමට සැබෑම අවශ්‍යතාවක් ඇති පවුල් සොයා නාහිමියන්ගේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන කේ.බී. අමරකෝන් මහතා ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බැලුවේය.

වෙලන්වැව ගම්මානය අගහිඟකම්වලට ලක්වූ බොහෝ පිරිසක් සිටින ගමක් වූ අතර එම ගම්මානයේ ඒ.ජී. තිලකාවතී (60) නමැති මව ඒ වනවිට ආහාරයට ගෙන තිබුණේ තැම්බූ මුරුංගා කොළය. තිලකාවතීගේ සැමියා වකුගඩු රෝගියකු වන අතර දරුවෝ විවාහ වී පවුලෙන් වෙන්ව සිටිති. ඒ දෙදෙනා ජීවත්වන්නේ සැමියාට වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයෙන් ලබාදෙන ආධාර මුදලිනි.

තිලකාවතී ඇතුළු ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ගම්මානය අවට ගම්මාන 14ක පවුල් එකසිය පනහකට අධික පිරිසකට සතියකට පමණ අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා මිරිසවැටිය නාහිමියෝ ආධාර වැඩසටහනක් සංවිධානය කළහ. ඒ සඳහා දායක කරගනු ලැබුවේ කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි විශ්‍රාමික ගුරු සංගමයයි.

එම සංගමය වසර විස්සක් පමණ තිස්සේ වාර්ෂිකව සමාජ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන විශ්‍රාමික ගුරුවරුන්ගේ එකමුතුවකි. ඉලුක්වැව අභිනවාරාම විහාරස්ථානයේ දී ආධාර බෙදාදීම සඳහා සංවිධානය කර තිබූ අවස්ථාවට තිලකාවතී මහත්මිය ද පැමිණ සිටියාය.

එහිදී කළ විමසීමේ දී ඇය මෙසේ කීවාය.

“කන්න හයක් තිස්සේ ගොවිතැන් බත් නෑ. කුඹුරු හරියනවා නම් කාගෙන් හරි වී ටිකක් හාල් ටිකක් ලැබෙනවා. මගේ මහත්තයාට පුළුවන් කාලේ කුලී වැඩ කරලා අපි ජීවත් වුණා. දැන් මම එයාගේ වැඩපල කරල දෙන්නත් ඕනෑ. දරුවන්ට අපිට උදව් කරන්නත් බෑ. අපේ සහෝදර සහෝදරියන්ටත් අපට සලකන්න තරම් වත්කමක් නෑ. කන්න දෙයක් නැතිම නිසා තමා මහත්තයා එන දවසේ මුරුංගා කොළ තම්බලා තිබුණේ. කන්න විතරක් නෙවෙයි, බොන්න වතුරත් නෑ. අල්ලපු ගෙදරින් ඉල්ලා ගන්නේ.” යැයි ද ඇය පැවැසුවාය.

මිරිසවැටිය විහාරවාසී නෙකුටුණුවැවේ ඥානරතන හිමියෝ ආධාර ලබාගැනීම සඳහා පැමිණි ජනතාවට ජීවිත ගොඩනඟා ගැනීම සඳහා අනුශාසනා සිදුකර ආධාර බෙදාදුන්හ. මෙම ජනතාවට ආහාර ද්‍රව්‍ය මෙන්ම පාසල් සිසු දරුවන් සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කෙරිණි. 

ඉලුක්වැව විහාරාධිපති කොකාවැවේ විමලසාර හා වත්තේවැවේ උපතිස්ස යන හිමිවරු ද ඩී.ඇස්. සේනානායක විදුහලේ ආදි විශ්‍රාමික ගුරු සංගමයේ උපසභාපති පද්මා තිරිමාවිතාන මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවෝ ද එම අවස්ථාවට එක්වූහ.