වේයන්ගොඩ කැලෑ හරක් රංචුව කැලේටම


වේයන්ගොඩ නාලපහවත්තේ හරක් රංචුවක් කැලෑ ගවයින් බවට පත්වීමෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ගම්වාසීහු සහ ගොවියෝ කියති.

ගවයින් 100ක් පමණ රජයේ අභය භූමියකට මුදා හරින්නැයි අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළාය.

නාලපහ ගොවිජන සංවර්ධන නිලධාරී සුනිල් ශාන්ත වැලිකුඹුර මහතා වේයන්ගොඩ පොලිසියට මේ ගැන පැමිණිලි කළේය.

වත්තේ හිමිකරුවන් බව කියන හිටපු මහේස්ත්‍රාත් සරත් ප්‍රේමචන්ද්‍ර, යූ.පී.ඉන්ද්‍රා ශ්‍රීමතී, යූ.පී.අනෝමා පද්මසීලී හා සීතා ස්වර්ණපාලී යන සිව්දෙනාට එරෙහිව මහජන පීඩාව යටතේ නඩුවක් පවරා ඇත.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා කරුණු දක්වමින් ගවයින් 42ක් දීර්ඝ කාලයක් මේ වත්තේ නිදැල්ලේ හැර තිබීම නිසා 100කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔවුන් කැලෑ හරකුන් බවට පත්වී සිටින බවත් කියා සිටියේය.

ගවයින් කිසිවකුට හීලෑ නොමැති බවත් අවට ගම්මානවලට පැන ජනතාවට ඇන තුවාල කරන බවත් වගා පාළු කරන බවත් ඔහු කීවේය. සරත් ප්‍රේමචන්ද්‍ර මහතා තමා ගවයින්ගේ හිමිකරුවකු නොවන බවත් දැනට එම වත්තේ භුක්තිය නොමැති බැවින් තමා මුදාහරින ලෙසත් ඉල්ලා සිටි අතර අනෙක් විත්තිකරුවෝ ගවයින් අභය භූමියකට මුදාහැරීමට කැමැත්ත පළ කළහ.

ගවයින් නිර්වින්දනය කර අල්ලා සුදුසු අභයභූමියකට මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළාය.

විත්තිකරුවන් සිව්දෙනා පෙර ඇප මත මුදා හැරිණි.