වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් දියුණුවේ කොටස්කරුවන් බවට පත්වන ලෙස වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක මහතා ශ්‍රී ලංකාවේ සියලූම පෞද්ගලික ආයතනවලට ආරාධනා කරයි.
වසර 103 ක ඉතිහාසයකට හිමිකම් කියන වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙසේ ද පැවසීය.
”වසරකට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 2000 ක් පමණ පාසලෙන් ඉවත් වෙනවා. මෙයින් කීපදෙනාටයි ජාතික කණ්ඩායම නියෙජනය කරන්න පුළුවන්. ඉතිරි ක‍්‍රීඩකයන්ගෙන් 80% ක්වත් රැකියාවක් කළ යුතුයි”
”රැකියාවට ගියාම ක‍්‍රීඩාව නවත්වන්න වීම දැන් පවතින අවාසනාවන්ත තත්ත්වයක්, පෞද්ගලික ආයතන වෙළෙඳ සේවා තරගාවලියට සහභාගි වන්නේ නම් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හොඳ දිරිගැන්වීමක්” යයිද ඈෂ්ලි රත්නායක මහතා පවසයි.
”‘ඒ’ කාණ්ඩයේ සිට ‘ජී’ කාණ්ඩය දක්වා කාණ්ඩ හතකින් වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලි පැවැත්වෙනවා”
‘එෆ්’ සහ ‘ජී’ කාණ්ඩවල ක‍්‍රීඩා කරන බොහෝ ක‍්‍රීඩකයන් වයස්ගත අය, ඒ අයට ක‍්‍රීඩා සමාජවල අවස්ථාවක් ලැබෙන්නේ නෑ. නමුත් වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය සමග එකතු වී සිටීම නිසා ඔවුන්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා”
වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය සමග එකතුව තරගාවලියකට සහභාගි වීමෙන් වයස්ගත ක‍්‍රීඩකයන්ට සිය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යෑමට හොඳ අවස්ථාවක් හිමිවී ඇති බව ද රත්නායක මහතා පැවසීය.
වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය පවත්වා ගෙන යන ක‍්‍රිකට් පුහුණු පාසලේ වයස 12 සිට 15 දක්වා ක‍්‍රීඩකයන් පුහුණු වන බවත් ඕනෑම ප‍්‍රදේශයක ක‍්‍රීඩකයකුට එයට ඇතුළත්ව සුදුසුකම් ලත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබිය හැකි බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලිවලට සහභාගි විමෙන් පෞද්ගලික ආයතනවලට ව්‍යාපාරික මට්ටමින් ද විශාල වාසි ලබාගත හැකි බව ද රත්නායක මහතා වැඩි දුරටත් පවසයි.