වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්


(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට වසර 08 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් කෝටි 22 1/2ක දඩයක්ද විත්තිකරුවන්ට නියම කළේය.

වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17ක මුදල් මෙන්ම හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, කොළඹ 07 බගතලේ පාරේ සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයේ තවත් නිවාස දෙකක්, අති සුඛෝපබෝභි බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ ඇතුළු අධි සුඛෝපභෝගී වාහන 4ක්, කිලෝ තුන හමාරක රන් ආභරණ, විත්තිකරුවන් නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් වල තිබු මුදල් මෙන්ම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක්ද රාජසංතක කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට අමතරව මෙලෙස දඬුවම් නියම වුයේ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශණී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ටය.

2010 ජනවාරි මස පළමුවැනිදාත් 2012 අප්‍රේල් මස 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපළ උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

ඡායා ළහිරු හර්ෂණ