වෙල්ලස්සේ ඉඩම් අයිතිය ඉල්ලා ලෙයින් පෙත්සමක්


බිඟුන් මේනක ගමගේ

 

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 500 ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇතැයි ද රජය එමගින් ගොවි ජනතාවගේ ගොවි බිම් කොල්ලකෑමට උත්සාහ කරන්නේ යැයි ද ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ චෝදනා කරයි.

අම්පාර, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුනට අයත් මහ ඔය, පදියතලාව, මහියංගණය, රිදීමාලියද්ද, ලුණුගල, බිබිල හා මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටට මෙම ඉඩම් අයත් යැයි එම පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙම ඉඩම් පැවැරීම සිදුවුවහොත් ඌව වෙල්ලස්ස ගොවි ජනතාව කොම්පැනිකාරයන්ගේ කුලී කම්කරුවන් බවට පත්වන්නේ යැයි කී හෙතෙම ඊට එරෙහිව ඌව පළාත් ජනතාවගේ ලෙයින් පෙස්සමක් අස්සන් කර රජයට විරෝධය පළ කරන්නේ යැයි කීවේය.

බහු ජාතික සමාගමට ඉඩම් ලබාදීම නවතනු, ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනු, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි බෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු යන ප්‍රධාන ඉල්ලීම් තුන යටතේ මෙම පෙස්සම අනිද්දා (15) සිට අස්සන් කිරීම ඇරඹෙන්නේ යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.