වෙන වෙනම පරීක්ෂණ දෙකක්


කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.

ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ඉකුත් අට වැනිදා එම පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය කියන්නීය.

මියගිය කුඩා දැරිය වන අවුරුදු පහයි මාස තුනක් වයසැති බුද්ධිනී කෞශල්‍යා රත්නායක දැරියගේ අවසන් කටයුතු සෙනසුරාදා (9) මාබිම වක්කඩවල පොදු සුසාන භූමියේදී සිදු විය.

මියගිය දැරියගේ මව ශාමිලා ඒකනායක මහත්මිය මෙසේ කියන්නීය.

‘ජනවාරි 31 දින මගේ දියණිය වෛද්‍ය වරයකුට පෙන්වපු අවස්ථාවේ බබාගේ  පරීක්ෂණ වගයක් කළ යුතු බව පැවසුවා. ඊ ඊ ජී සහ එම් ආර් අයි ඇතුළු පරීක්ෂණ කිහිපයක් කරන්න කිව්වා. මම දරුවාගේ පහසුවට රෝහල් ගත කළා. 31 දින සියලු පරීක්ෂණ සිදු කළ අතර එම් ආර් අයි පරීක්ෂණය සිදු කළේ පෙබරවාරි පළමුවන දිනයි.

වෛද්‍යවරිය පළමුවැනිදා තුනයි තිහට විතර පැමිණෙනවා ඒ සඳහා සූදානම් වෙන්න කිව්වා. වෛද්‍යවරයා දුන්න බෙහෙතුත් දීලා මම එම පරීක්ෂණයට දරුවා රැගෙන ගියා. සවස හතරට විතර වෛද්‍යවරිය ආවා.

එම් ආර් අයි යන්ත්‍රය තිබූ කාමරයේ දොරත් ඇරලයි තිබුනේ. මම ඉතින් දරුවාගේ ප්‍රතිබිම්බය බිත්තියෙන් පේන විදියට එළියෙන් වාඩිවී සිටියා. 4.20විතර දරුවා යන්ත්‍රය ඇතුලට දැම්මා. 4.30ට විතර බැලුන් එකක් පුපුරනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම වෛද්‍යවරිය කෑගැහුවා උදව් වෙන්න උදව්වෙන්න කියලා. ඒ වෙලාවේ එතන හිටියේ වෛද්‍යවරිය විතරමයි. උදව්වෙන්න කවුරුත් නැති නිසා මම එතන මාත් එක්ක හිටිය සහයිකාවක් එතනට තල්ලු කලා. විනාඩි අටක් පමණ පසුව වෛද්‍යවරිය කෑගැහුවා බබාට ඔක්සිජන් යන්නේ නෑ ඔක්ෂිජන් වැඩ කරන්නේ නෑ මට උදව් කරන්න කියලා.

මම කාමරේ ඇතුළට යන කොට මැෂින් එකෙන් එළියට ආවේ නිල්ම නිල් වෙච්ච ලොකු බඩක් තියන දරදඩු වෙච්ච බබෙක්.

දවස් පහක් තිස්සේ එස් අයි සී යූ ඒකකයේ තියාගෙන මගේ මළ දරුවාගේ සිරුරට ප්‍රතිකාර කළා.

මම ඉල්ලා සිටිනවා මේ වගේ දෙයක් යළි කිසිම කෙනෙකුට නොවෙන්න අවශ්‍ය නීතිමය පියවර මේකට ගන්න කියලා.‘

වීඩියෝ ජී මධුසංඛ