වෙඩික්කරුවන්ට කුලී කාමර දෙන අයෙක් අල්ලයි


(ඉන්දිකා රාමනායක )

ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල  වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා පැමිණෙන වෙඩික්කරුවන්ට සහ යතුරු පැදිකරුවන්ට බෝඩිං කාමර වල නවාතැන් පහසුකම් සපයා දෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී ඝාතනයට ලක් වූ ගනේමුල්ල සංජීව නමැත්තාගෙ සමීපතමයෙකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ගනෙමුල්ල සංජීව නමැත්තාගේ  ප්‍රධාන ගෝලයකු වන වෑලිය සුරාජ් නමැත්තා විසින්   ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල මෙහෙයවන ලද මනුෂ්‍ය ඝාතන වෙනුවෙන් පැමිණෙන වෙඩික්කරුවන්ට සහ පැදිකරුවන්ට  ඉහත සැකකරු විසින් කොටුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන බෝඩිමක කාමර සපයා ඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළිකරගෙන ඇත.‍

මෙම සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ ඒකාබද්ධ විශේෂ බැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව  පසුගිය (8) දින රාත්‍රියේ  කොටුගොඩ ප්‍රදේශයේදී  හෙරෝයින් ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.